මුද්දර විනෝදාංශය 

ක්‍රමවත්ව මුද්දර රැස්කිරීම හා ඒ පිළිබඳව අධ්‍යනය කිරීමේ විනෝදාංශය ලංකාවේ විතරක් නොවෙයි ලෝකයේ ජනප්‍රියම විනෝදාංශය ලෙස හඳුනාගෙන තියෙනවා.සමාජයේ සෑම තරාතිරමකම හා ඕනෑම වයසක කෙනෙකුටම පහසුවෙන් යෙදිය හැකි විනෝදාංශයක් තමා මුද්දර එකතුකිරීම .
ඉතිහාසය 
ලොව ප්‍රථම මුද්දරය එංගලන්තයේදී 1840මැයි 06 වැනි දින සිට භාවිතය සඳහා යොදා ගැනුනා.එය එකල බ්‍රිතාන්‍යයේ අධිරාජිණිය වූ වික්ටෝරියා මහරැජිණගේ රුව සහිත මුද්දරයක්.පැන්ස 01ක වටිනාකමකින් යුත් එම කළු පැහැති මුද්දරය"පෙනී බ්ලැක් "ලෙස හඳුන්වනවා .මුල් වරට නිකුත් වූ නිසා එහි රටේ නම සඳහන්ව නැහැ.



මෙම මුද්දරයේ නිර්මාතෘ වූයේ එංගලන්ත ජාතික "රෝලන්ඩ් හිල්"මහතායි.ඔහු මුද්දරයේ පියා ලෙස හඳුන්වනවා .එවකට පැවති ලබන්නා විසින් තැපැල් ගාස්තුව ගෙවීමේ ක්‍රමයේ අසාර්ථක භාවයට පිළියමක් ලෙස ඉදිරිපත් වූ යෝජනාවකට අනුව ඔහුට මෙම ලේබලය නිර්මාණය කිරීමට හැකි වුනා.



 එංගලන්තයේ මුද්දර භාවිතය සාර්ථක වීම හේතුවෙන් ලෝකයේ අනෙක් රටවලද ඒ පිළිබඳව අවධානය යොමු කලා.බ්‍රිතාන්‍යයේ යටත් විජිතයක්ව තිබූ ලංකාව ,1857අප්‍රියෙල් 01 දින මෙරට ප්‍රථම තැපැල් මුද්දරය නිකුත් කලා.වික්ටෝරියා රැජිනගේ උඩුකය රූපයක් රැගත් එම මුද්දරයේ වටිනාකම වූයේ පැන්ස 06යි .

 එකල සාමන්‍ය ලිපියක් මෙරට සිට නැව් මගින් එංගලන්තයට යැවීමට තැපැල් ගාස්තුව වූයේ එම මුදලයි.අද මෙන් මුද්දරය වටා සිදුරු වියමන් එකල මුද්දර වටා නොතිබූ නිසා මුද්දර එකිනෙක වෙන් කිරීම සඳහා මුද්දරය වටා කතුරකින් කැපීමට සිදුවුනා.


මුද්දර එකතු කිරීමේ ප්‍රයෝජන
1.විනෝදාංශයක් ලෙස
මුද්දරය කළාකෘතියකි .පහසුවෙන් අඩු ඉඩ ප්‍රමාණයකින් ,අඩු වියදමකින් එකතු කල හැකිය.ලෝකයේ ප්‍රසිද්ධ පුද්ගලයන් බොහොමයක් මුද්දර එකතු කිරීමේ විනෝදාංශයේ යෙදෙයි.තවද ,මෙමගින් ක්‍රමවත්ව වැඩකිරීමට පුරුද්දක් ඇතිවේ.
2.අධ්‍යාපන මට්ටම දියුණු කරගැනීමට
හොඳ මුද්දර එකතුවක් විශ්ව කෝෂයක් බඳුය .රට රට වල තොරතුරු ,අවේණික සත්ත්වයන්  , අවේණික මල් ,විවිධ වැදගත් සැමරුම් ,වැදගත් දින ,වැදගත් පුද්ගලයින් පිළිබඳව බොහෝ තොරතුරු මේ මගින් දැන ගත හැකිය. .
3.ආයෝජනයක් ලෙස
පැරණි, දුර්ලභ මුද්දර, මුද්දර එකතු කරන්නන් අතරහොඳ ඉල්ලුමක් ඇත.මුද්දර පැරණි වන තරමට වටිනාකම වැඩිවේ .ඉල්ලුම වැඩිවේ.මුද්දර එකතු කරන්නන් අතර ඉහල මිල ගනන් වලට අලෙවි කළ හැක.
මුද්දර එකතු කිරීම ආරම්භ කළ හැක්කේ කෙසේද ?
1.අවලංගු කළ මුද්දර එකතු කිරීම
ඉතා අඩු වියදමකින් හෝ වියදමක් නැතිව කළ හැක .කවර වල ඇලවූ  එමෙන්ම අවලංගු කළ මුද්දර කවරය සමග ජලයේ පොඟවා ප්‍රවේශමෙන් කවරයෙන් වෙන් කරගෙන මැලියම් ඉවත්වන ලෙස පිරිසිදු කරගත යුතුය.ඉන්පසු මද පවනේ වේලා ගෙන ඒ මත බරක් තැබීමෙන් පැතලි කර ගත හැක.
 
2.අවලංගු නොකල මුද්දර එකතු කිරීම
මිළදී ගත් අවලංගු නොකළ මුද්දර පිටුපස මැලියම් සහිත පැත්තේ ටැල්කම් පවුඩර් ස්වල්පයක් ආලේප කර ගැනීමෙන් ආරක්ෂිතව තබා ගත හැක.
3.මුල් දින කවර එකතුකිරීම
මුද්දරය නිකුත් කරන ප්‍රථම දින  මුද්‍රා තැබීමෙන් පසු මිළදී ගත හැක .මේ සමග මුද්දරය සම්බන්ධ තොරතුරු ඇතුලත් වටිනා පත්‍රිකාවක් නොමිලේ ලබා දෙනවා.
 
 
 
4.සිහිවටන පත්‍රිකා එකතු කිරීම
මුද්දර නිකුත් කරන සමහර අවස්ථාවලදී අදාල මුද්දර සියල්ල ඇතුලත් සම්පූර්ණ සිතුවමක් සහිත දර්ශනීය සිහිවටන පත්‍රිකාවක් නිකුත් කරනවා.මේවා ඉතා අලංකාර බැවින් මුද්දර එකතු කරන්නන් අතර ඉතා ජනප්‍රියය.
 
මුද්දර එකතු කිරීමේදී ඒ සදහා ඇල්බමයක් භාවිතා කිරීම සුදුසුය.මුද්දර පෙළ ගැස්වීම රටවල් අනුව හෝ මාතෘකා අනුව කළ හැකිය.
  
 (ලග්න මුද්දර )
  
 (ශ්‍රී ලංකාවේ ආවේණික පක්ෂීන් )
මුද්දර ගැන තොරතුරු දැන ගැනීමට ,මුද්දර මිළදී ගැනීමට ඔබට ලඟම පිහිටි තැපැල් කාර්‍යාලයෙන් පුළුවන්. නැත්නම් කොළඹ තැපැල් මූලස්ථානයේ පිහිටි මුද්දර කාර්‍යාංශයෙන් පුළුවන් .
තැපැල් මූලස්ථානයේ පැවැත්වෙන මුද්දර ප්‍රදර්ශන වලට සහභාගීවීමෙන් මුද්දර එකතුකරන නවක ඔබට බොහෝ දේ දැනගැනීමත් අඩු මුදලට විවිධ මුද්දර මිළදී ගැනීමටත් පුළුවන්.
තොරතුරු දැනගනීමට මුද්දර කාර්‍යාංශයේ 011-4927248 / 011-2328301 යන දුරකථන අංක වලට ඇමතීමෙන් පුළුවන්.